Sunday, May 26, 2019

සුදු අරලියා මල් පාට ඇතිරූ
සොදුරු පාසල් මග දිගේ
අත් බැදන් දුර යන්න හැකිනම්
ඉතින් යලි පෙරදා වගේ...
ජීවිතේ දලු ලන වසන්තෙක
වැටුණු සැලමුතු පිණි දියේ
තෙමි තෙමී අප ඇවිද ගිය හැටි
ඇතිද තාමත් මතකයේ...
එදා නොකියූ හැගුම් දහසක්
තවම සිරවී ඇත ලයේ
පෙර මතක නුඹ හට මතක නම්
අරලිය හෙවණ යට තව ඉඩ තියේ....




රතු පාට ලංගම බස් රියක
ගෑවී නොගෑවුන ඉමක
නුඹ සමඟ ගියපු හැටි
ඉතින් මට තව මතක...
දාහකුත් ඇස් වසා
නුඹේ ඇස් කතා කල දවස
පෙම් පාට මල් රේණු
හදවතේ සුවඳ ගෑ සවස...
තවම මට දැනෙයි පෙර සේ
ලංගමක යන එනා විටෙක
ඒ නමුදු කල්පයකි
නුඹ මගෙන් වෙන්ව ගොස් අදට...





හිරු ගිලෙන සවසක 
සයුරු තෙර දුර වෙරලක 
අත් බැදන් යන්නට 
හිත කියයි නුඹ එක්ක....

රල සිඹින ලෙස වෙරල
සිඹින්නට නුඹ කොපුල
සුලන් රැලි වැද නටන 
දගකාර කෙහෙ රැල්ල...

ඇවිද යන්නට හිතයි 
නුඹ එක්ක දුර ඈත
ඒ නමුදු හිමි නොවන 
බව දනිමි ඔය දෑත...
උතුවන්කන්ද ඉහත්තාවේ
තාම හද රැස් නෑවේ
මම්මලේ සමගින් සරදියෙල්
කන්ද මුදුනේ හිනාවේ...

මේනකා සමගින් ගෙවුනු රෑ කල
සරදියෙල් නිදි සුව ලබන විට
සීතලේ කූඩලු පහර කාගෙන
මම්මලේ දොරටුව මුරකලේ
වත්තෙ සුද්දගෙ බංගලාවම
සුද්ද කරගෙන පැනල යනකොට
ලගම හිටියෙත් මම්මලේ...

මරක්කලයා මම්මලේ
සරදියෙල් ඌ සිංහලේ
ජාති කුල මල මොකුත් නැතුවම
උන් දෙන්න ගජ මිතුරන් උනේ


පොලිසියෙන් ඇවිදින් වට කරද්දී
සරදියෙල් වෙඩි කා වැටෙද්දී
මරක්කල පොලිසියෙ එකාටත්
වෙඩි තිබ්බ මිනිහා මම්මලේ
පැනල යන්නට වාරු තිබුනත්
මිතුරුකම හැර නොගිය සගයා
මරක්කලයා මම්මලේ....


පමා වී මුණ ගැසුණු ඇස් ලඟ
නතර වෙන්නට බැරිය සොඳුරිය
නමුදු නුඹ ළඟ රැඳුණු කෙටි කල
නුඹෙන් හඳුනා ගතිමි ප්‍රේමය...
ජීවිතේ දිගු වන්දනාවකි
මංසලක් ළඟ නතර වනු බැරි
එක්ව ආ දුර නිමා වේ නම්
වෙන්ව යනු මිස හඬනු පල නැති...
කෙදින හෝ මඟ යනෙ'න අතරෙක
යලිදු අප නෙත් මුණගැසෙනු ඇති
නොදුටු සේ යනු මැනවි සොඳුරිය
නැවතුමක් අප අතර වනු නැති...


එදා වාගෙම පොද වැස්ස තව
වැටෙනවා ඇති නුවරට
මහවැලිය පෙර පුරුදු විලසට
ගී මුමුණනව ඇති හන්තානට
එක කුඩය යට කෝඩු පෙම් හිත් 
අත් පටලවාගෙන යන විට
අප මතට ඇද හැලුනු කහ මල්
තව පිපෙනවා ඇති යායට.....


ගෙම්බ කැන්ටිම,පොලොන්නරුවට
එදා වගෙ පෙම් කෙරුවට
දොඩමලු වු දහසක් කතා
සැගවිලා අද ගල් කණු යට
සිවු වසර යනු සදාකාලික
බැදීමක් බව සිතුවට
සිහිනයක් මිස පලක් නැත වෙන
අපට අපවත් නැති විට.....


කඩු කඩු කඩු කඩු
කුඩු කුඩු කුඩු කුඩු
කුඩු කඩු කඩු කුඩු
මුලු රටටම බඩු....
කඩු අහුවෙනවා
කිනිසි තියෙනවා
නානා ඒවගෙන්
කැලෑ කපනවා....
ඇමති ල එනවා
ආතල් දෙනවා
ජනපති අගමැති
සැපේ ඉන්නවා....
කඩු කඩු කඩු කඩු....
මන්ද පෝශණෙන් උඩටම එනවා
කැලෑ කපනවා මිනී මරනවා
රටේ තියන කප්පරක් ප්‍රශ්න ටික
නානගෙ කඩුවට අමතක වෙනවවා....
කඩු කඩු කඩු කඩු...
දින ගත වෙනවා කාලෙ ගෙවෙනවා
ජහමනයා මර බයේ ගැහෙනවා
දියවන්නාවේ ආතල් බල බල
අමුතුම ආතල් එකක් ගන්නවා
හෙට පිපිරෙයිදැයි බලා ඉන්නවා
සීතලම සීතලට ඇද වැටෙන
වැහි බිංදු නුවර බිම තෙත් කරන
තෙමි තෙමී පෙනෙන නොපෙනෙන ඉමක
මා ඉන්න බව දැනෙනවා නම් නුඹට...
සීතලේ ලේ මිදුනු හදවතට
දැනෙනවා ඔය සුසුම් උණුසුමට
ජීවිතේ පිලුනු වුනු තනිකමට
තිත තියමි මා දැනෙනවා නම් නුඹට...
දෙවියන්ට වෙන් නොකල හිත් බිමක
නුඹ හිදී ඒ බිමේ උස් තැනක
හිරු නැගී මල් පිපෙන වසන්තෙක
දොර හරිනු හැක මට නුඹ එක්ක...

Thursday, May 23, 2019

ලියන්න දේවල් කොච්චර නම් තියනවද

මීට අවුරුදු ගානකට කලින් මම අතැරපු බ්ලොග් එක නවත්තපු තැනින්ම පටන් ගන්න හිතුවා.අලුත් තැනක්.වෙනස් ජීවිතයක්.ආපහු ලියන්න පටන් ගමු.අදහසක් එනකම් නවතින්නම්.

නුඹ

නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...