Wednesday, July 31, 2019

කෙටිම කවියක්

සද හොරෙන් හැංගිලා
එබෙන විට විලියෙන්
තරු කැකුලු නිවි නිවී
හෙලන මද එළියෙන්
මග සොයාගෙන ඇවිත්
නුඹ ළගට රහසෙන්
හාදු වැසි වස්සවමි
පෑල දිග අහසෙන්....

Monday, July 29, 2019

අනාගතයේ දවසක

ඉතින් සොදුරිය
අනාගතයේ දවසක
හාන්සි පුටුවක
ජීවිතේ ඉසිබුවක්
ලද විට...

ඇවිද ගොස් දුර මතක මග
අත් හැරුනු මංසලක් අතර මැද
නුඹ මා සමග පෙර කල
පෙම්වතුන් සේ විසූ අරුමය
ජීවිතේ අරුමැසිම කාලය.. .

ලෝකයේ කොතැනකම සිටියත්
මියෙන්නට මොහොතකට පලමුව
සිනාවක් නගාගෙන දෙතොලට
මුමුණන්න එකම එකම වතාවක්
අපි අපේ වී සිටි බව.......

Monday, July 15, 2019

මේ තරම් සියුමැලිද කලුගල්



මගේ හිතට දැනුණු සින්දුවක් තමයි සුනිල් එදිරිසිංහ මහත්තය ගායනා කරන" මේ තරම් සියුමැලිද කළුගල් "කියන සින්දුව.මං ගීත විචාරකයෙක් නොවුනත් මට මේ සින්දුව ගැන මගේ හිතට දැනුණු දේවල් මේ විදියට ලියන්න හිතුන.

                            "  මේ තරම් සියුමැලිද කළුගල්
                               හිතන්නටවත් බැරි නිසා...
                               මා ගියා අවුකන බුදුන්ටත්
                               දෑස් දුන් මිනිසා සොයා.........."

ඇත්තටම කළු ගලකට මේ තරම් සියුමැලි බවක්,සජීවී බවක්,මේ තරම් හිත නිවන බවක් තියනවද?මේ කළුගලට එතරම් හැකියාවක් දුන්න කලාකරුවා එසේ මෙසේ කෙනෙක් වෙන්න බැහැ.ඉතින් මං ගියා ඒ අසාමාන්‍ය හැකියාවක් තියන කලාකරුවා හොයාගෙන..

                         "  කලා වැව ළඟ ඉලුක් හෙවනක
                            මැටි පිලක පැදුරක් එලා
                            රිදුම් පිරිමදිමින් බලයි ඔහු
                            මැරෙන උපදින රල දිහා...."

රාජ්‍ය ගෞරව ලැබිය යුතු කලාකරුවෙක්.අසාමාන්‍ය සොඳුරු හදවතක් තියෙන මිනිහෙක්.ඒත් දුප්පතෙක්.මං යන වෙලාවේ ඔහු හිටියේ තමන්ගේ පුංචි අතු පැලේ පිල මත එලා ගත් පැදුරක වාඩි වෙලා ඈත කලා වැවේ රල නැගෙමින් බිදෙමින් විසිරෙන හැටි බලාගෙන.ඔහුගේ අත් වල පිපිරුණු කරගැට පිරිමදිමින්.එතනට වෙලා ඔහු ජීවිතේ අනියත බව මෙනෙහි කරනවා.නොලැබුණු දේවල් ගැන ශෝකයක්වත් ලැබුණු දේවල් ගැන උදම් වීමක්වත් නැතුව.

                       " ඉසුරුමුණියේ නුඹ 
තැනූ
                        පෙම්වතිය කොතනද කියා
                        මා ඇසූ විට හිනැහුණා ඔහු
                        තවම තනිකඩ යයි කියා....."

මේ තරම් සුන්දර මිනිහෙක් පෙම්වතා විදියට ඉන්න පෙම්වතිය කොච්චර නම් වාසනාවන්ත වෙන්න ඕනෙද?සමහර විට ඉසුරුමුණියේ කැටයම් කරපු පෙම්වතියගෙයි පෙම්වතගෙයි රූප මොහුගෙයි ඇගෙයි වෙන්න ඇති.ඉතින් මං ඇහුව ඔහුගේ පෙම්වතිය ගැන.එවිට ඔහු හිනාවෙලා ඈත රල දිහා බලල කිව්වා ඔහු තවම තනිකඩ බව.නමුත් ඒ කට හඩේ තිබුනේ ශෝකී බවක්.හරියට පරණ මතකයක් වසන් කරන්න හදනවා වගේ.සමහර විට කාලෙකට කලින් ඔහුටත් ඉන්න ඇති ඉසුරුමුණියේ පෙම්වතාට වගේම සුන්දර පෙම්වතියක්.යම්කිසි හේතුවක් නිසා ඇය ඔහුව දාල යන්න ඇති.කොහොම වෙතත් මේ  කලාකරුවාගේ හිත තවම කවුරුත් තේරුම් අරන් නැහැ.ඊට හේතුව ඔහුගේ හිත සියුමැලි උනත් ඔහු දුප්පතෙක් වීමද?ඔහු මේ තරම් දක්ෂ ලෙස කැටයම් කරන්නේ ඔහුගේ හිතේ ඒ තෙරපෙන වේදනාවද?එකට පිළිතුර දන්නේ ඔහුමයි.
                      මං ඔහුගෙන් සමු අරගෙන එන්න පිටත් උනා.ඔහුගේ පැල පෙනෙන නොපෙනෙන මායිමේදී  නැවත හැරිලා බලද්දී බැසයන හිරුගේ අවසන් රැස් දහර අතරින් මං දුටුවේ ඔහු තවමත් පිල උඩ වාඩි වෙලා ඈත රල දිහා බලන් ඉන්න හැටි..........

Saturday, July 13, 2019

prison break ලංකාවෙ හැදුව නම්

ගොඩාක් අය ආසාවෙන් බලපු ටීවී සීරීස් එකක්නෙ ප්‍රිසන් බ්‍රේක් කියන්නෙ.ඒ වගේ ටීවී සීරීස් එකක් ලංකාවෙ හැදුව නම් මොනා වෙයිද ?

1.ජනාධිපතිතුමාගේ කීර්ති නාමයට දැවැන්ත කැලලක් එක් කිරීම.(අයථා ලිංගික සම්බන්ධතා ඉස්මතු කිරීම,පුද්ගල ඝාතනයන්ට අනුබල දීම වැනි කාරණා ඉස්මතු කිරීම තුලින්)

2.රටේ බලවත් ව්‍යාපාරිකයන් දේශපාලකයන්ට බලපෑම් කිරීම තුලින් සිය දුෂ්ඨ අරමුණු ඉටු කරගන්නා බව හුවා දැක්වීමෙන් ගෞරවණීය ව්‍යාපාරික පැලැන්තියට සහ දේශපාලකයන්ට අපහාස කිරීම සහ ඒ හරහා ජනතාව අතර නොසන්සුන්තා මතු කිරීම.

3.සිදුවන් ඝාතනයන්ට සහ පැහැරගැනීම් වලට ජනාධිපතිවරයා මූලිකව වගකිවයුතු බව ඉස්මතු කිරීමෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති පදවිය ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් කිරීම.

4.රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන ගෞරවණීය ආයතන වන පොලිසිය ඇතුලු බුද්ධි අංශ රටේ සිදුවන ඝාතන,පැහැරගැනීම්,අතුරුදහන් කිරීම්,සාක්ශි විකෘති කිරීම් වලට සම්බන්ධ බවටත් බොරු  චෝදනා ඉදිරිපත් කිරීමෙන් අහිංසකයන්  හිරේ යවන බවටත්  ඉස්මතු කරන දර්ශන ඉදිරිපත් කිරීම හරහා  රණවිරුවන්ගේ කීර්තිනාමය විනාශ කිරීම.

5.බන්ධනාගාර නිළධාරීන් අල්ලස් සහ වෙනත් දූශිත ගනුදෙනු කරමින් මුදල් උපයන බවටත් සිරකරුවන්ට නිකරුණේ පහර දෙන බවටත් ඉස්මතු කරමින් ගෞරවණීය බන්ධනාගාර නිළධාරීන්ට අපහාස කිරීම.

6.බුද්ධි අංශ විසින් අපරාධකරුවන් අල්ලාගැනීමට භාවිත කරන උපක්‍රම,තාක්ෂණික උපකරණ,උපාය මාර්ග පිළිබඳව සදහන් කිරීමෙන් රටේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙලීම.

7.මේ සියලු කරුණු හරහා රටේ විධායකය,ව්‍යවස්ථාදායකය,අධිකරණය,මහජන සාමය,කීර්තිනාමය බිද දැමීමට ක්‍රියා කිරීම.

කියලා ප්‍රිසන් බ්‍රේක් සීසන් ඔක්කොම තහනම් කරලා,ඒක ඩිරෙක්ට් කරපු එකයි,කතාව ලියපු එකයි,රගපාන උනුයි ඔක්කොම අවුරුදු දේසීයකට විතර හිරේ අරින්න තිබ්බා.

ඒ අස්සේ අපේ දේසප්‍රේමී සෙට් එකටත් මාධ්‍ය සාකච්ඡා,උද්ගෝශන,උපවාස කරලා රණවිරුවන්ට අපහාස කරන,ජාතික ආරක්ෂාව බිලි දෙන,ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ට මවුබිම පාවා දෙන දේශද්‍රෝහී ප්‍රිසන් බ්‍රේක් නාට්ටිය තහනම් කරනු,ඩිරෙක්ටර් සහ නලු නිලියන් එල්ලා මරනු කියලා පොලොවෙ පස් කන්නත් පුලුවන්කම තිබ්බා.😜😜😜

Saturday, July 6, 2019

ඉතිහාසයේ ප්‍රශ්නය

මහා දාගැබ් විසල් වැව් මත 
දහසකුත් අත් බැදී තිබුණෙය 
නමුදු ඉතිහාසය ලියූවේ 
වැවට නම දුන් රජුන් පමණය...

මහාමෙවුනේ ඉසුරුමුණියේ 
යෝධ ගල්කණු රටා මැවුණෙය 
නමුදු  ඉතිහාසය ලියූවේ
සිත්තරා නොව රජුන් ගැනමය...

මහා  යුධ බිම් අතර මැද්දේ 
සෙබලු දහසක් වැටී මැරුණෙය 
නමුදු 
ඉතිහාසය දිනූවේ 
සෙබල මුලු නොව රජුන් විතරය...

රජුන් නම විතරක්ම මතුරා 
සැබෑ විරුවන් ලොවෙන් සැගවිය 
උනුන්ගේ නම් සොයා ආපසු 
ලිවිය යුතුමය මහාවංශය...


Wednesday, July 3, 2019

කවියකි ප්‍රේමය

අතින්වත් අල්ලන්නෙ නැතුව මොහොතකටවත් ලගට එන්නෙ නැතුව දෙදෙනෙකුට මහා ආදරයක් හටගන්න  පුලුවන්ද?අඩුමගානෙ තමන් ආදරය කරන කෙනාගෙ කටහඩවත් නොඅහ.උත්තරය පුලුවන්.ඛලීල් ජිබ්‍රාන් සහ මේ සියාදා අතර තිබුනෙ ඒ වගේ ආදරයක්.ඔබ ඛලීල් ජිබ්‍රාන් ගැන නම් අහල ඇති.විශිෂ්ඨ කවියෙක්.දාර්ශනිකයෙක් සහ චිත්‍ර ශිල්පියෙක්.කුඩාකාලයෙම ඇමරිකාවට සංක්‍රමණය වන ඛලීල් ජිබ්‍රාන් උපතින් ලෙබනන් ජාතිකයෙක්.පෙරදිග ගූඪවාදී කවීන්ගේ හා දාර්ශනිකයන්ගේ ලෝකය ඔහු සිය චමත්කාරජනක අදහස් මගින් බටහිර ලෝකයට ගෙන ගියේය.ඔහුගේ prophet නමැති ග්‍රන්ථයහරහා තමන්ගේ දාර්ශනික මතවාද රැසක් ඔහු ලෝකයට හෙලි කලේය.

1886 පෙබරවාරි 11 දින පලස්තීනයේ නසරෙත්හි උපත ලද මේ සියාදා විසිවන සියවසේ අරාබි සාහිත්‍යයේ ප්‍රමුඛතම ලේඛිකාවක ලෙස සැලකෙයි.කුඩා කාලයේම ඊජිප්තුවේ කයිරෝවට සංක්‍රමනය වූ මේ සියාදා 1911 දී සිය ප්‍රථම නිර්මාණය පල කළාය.නව සාහිත්‍ය විචාරිකාවක ලෙස කටයුතු කරද්දී ඇයට ඛලීල් ජිබ්‍රාන්ව හදුනාගැනීමට හැකිවූ අතර දෙදෙනා අතර වූ සාහිත්‍ය ලිපි ගනුදෙනු  ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවටද පත්කරවීය.නමුත් 1931 දී ඛලීල් මියයන තුරුම ඔවුන් දෙදෙනා අතර කිසිදිනෙක හමුවීමක් සිදුනොවීය.ඔවුන් එකිනෙකා හදුනාගත්තේ ඔවුන් අතර හුවමාරු වූ ලීපි මගින් පමණක්ම විය.ඛලීල්ගේ මියයාමෙන් අනතුරුව දැඩි හුදෙකලාවක නිමග්න වූ සියාදා සියදිවි නසා ගැනීමටද උත්සහ කලාය.නමුත් එය අසාර්ථක විය.1939 දී යලි සාහිත්‍යකරණයට ප්‍රවේශ වූ ඇය 1941 දී මිය ගියාය.

මේ සියාදා තුලින් ජිබ්‍රාන් දුටුවේ නැගෙනහිර දේශයේ ගුප්ත සුන්දරත්වයයි.1912 දී ආරම්භ වූ දෙදෙනාගේ ලියුම් හුවමාරුව ජිබ්‍රාන් මියගිය 1931 දක්වාම සිදුවිය.කිසිදා හමුවීමක් නොමැති වූ සියාදා අවසානය දක්වාම ජිබ්‍රාන්ගේ සිහිනය සහ යථාර්ථයවිය.

"බැහැර ගොස් සිටියෙමි.කාරුණික ප්‍රියජනක ලියුම ලැබුණේ එවිටය.රෝගී අතින් ලිවිය නොහැකිය.මේ පණිවිඩය ප්‍රීතිමත් නත්තලක් හා ගී ගැයෙන නව වසරක් වෙනුවෙන් එවනු ලබන ආදරයෙන්ද සුබ පැතුමෙන්ද පිරුණු එකකි.
            ජිබ්‍රාන් " (මේ සියාදා වෙනුවෙන් ජිබ්‍රාන් තැබූ අවසාන සටහන)

උපුටා ගැනීම ආනන්ද අමරසිරි පරිවර්තනය කල "ඇයට ලියූ පෙම් හසුන්" ග්‍රන්ථයෙනි

නුඹ

නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...