Saturday, August 26, 2023

නුඹ

නුඹේ නිල් නෙත් විලේ

මගේ රුව මම සොයමි

කිමිදි කිමිදී රැයේ

සිතේ පාලුව මකමි...


ඇහි පිල්ලමක් අතර

සිහිනයක් ගෙන තබමි

සුවෙන් නිදනුව සොඳුර

හාදු වැස්සක තෙමමි....


Sunday, February 28, 2021

ආදරණීය ප්‍රේමකීර්තිට

එක යායේ කකා වැටුණු

උන් හට පද පේලි බැඳපු

මේ නගරය ගැන මතකය

හැමදාමත් හිතේ තියපු

තරු අත් අකුරින් ලියා තැබූ

පෙම්පත් ගැන ලොවට කියපු

තනි තරුවක් විය ගී අහසේ

ඇහැළ මහක සැඟව ගියපු...


සඳකැන් වැසිලා එතුනත්

ලෝකෙම අඳුරින්

සඳ මිදුලට එන හැටි කිව්වා

පද බඳමින්

රන් මීවිත පුරවාගෙන

සරතැස නිවමින්

තවමත් ගී පොත් අතරේ

ඇත මහ ඉහලින්....


හෙට දවසේ අප දෙදෙනා

මිහිරට හමු විය යුතු වේ

රටකින් එහා වෙන්වී

යන්නට නම් බෑ කිව්වේ

ආදරයේ උල්පත ගැන

සුන්දරතම ගී ලිව්වේ

ප්‍රේමේ නුඹෙ වදන් වලින්

දහසක් හද ගිනි නිව්වේ....

































Saturday, February 27, 2021

අලු පාට හැන්දෑවක් දා

 අලුපාට හිස් අහස

ගැබ්බරව විලිලයි

අඩ අඳුර ගලාවිත්

මා දෙනෙත් පටලයි...


මෙවන් දිනයක් එදා

තවම මට මතකයි

එදා නුඹ තුරුල්ලේ

හිටිය හැටි සොඳුරුයි...


මේ අදත් වසින්නේ

එදා වැහි බිඳුමයි

නුඹ කොහේදැයි කියා

වැහි බිංඳු විමසයි...


පිළිතුරක් මගේ ලග

නොමැත මට පුදුමයි

හැර දමා ගියෙ ඇයිද

දන්නෙ නුඹ විතරයි...

Thursday, February 4, 2021

ගිය අවුරුද්දේ නිදහස් දිනයේම දිගුවකි

 හැත්තෑ වසක් මහලු වු

කුදු ගැසුණු වැහැරුණු 

කෙසරෙකි

උගේ පය පාමුල

මල කා දිරා ගිය

කඩුවකි...


කෙලෙස හිස ඔසවම්ද දරුවනි

රටම නොරටුන් ගිලගති

මා රුවද මැසුවේ 

චීනෙකි....


ගෙවී ගිය දෙදහස් වසක් ගැන

වැණුම් නම් දස දහසකි

පිටරටින් ණය නොලැබුණොත් දැන්

කන්නෙ මොනවද දරුවනි...


මෙලෙස විමසා මහලු සිහරද

නවාගෙන හිස සෝකෙනි

මහා සයුරට දෑත පාමින්

ගාලු කොටුවෙන් පැනගති...

Tuesday, February 2, 2021

සිදුවීම් තුනක්

 පාර්ලිමේන්තු පාරේ දියවන්නාව ලග ගහල තියනව බෝර්ඩ් එකක්

"වැවෙහි කිඹුලන්ගෙන් ප්‍රවේශම් වන්න"

ඕක දකින කොට මගේ හිතේ ලියවෙනවා පද දෙකක්

"පාර්ලිමේන්තුවේ මකරු

රකිති වටේට කිඹුල්ලු"


ඔහොම පාර්ලිමේන්තු පාර පහුකරන් යද්දි මම හැමදාම දකිනවා එක කොළයක් නැතිවෙන්න පාර්ලිමේන්තුවට යන පාර අතුගාන කම්කරුවෝ.කොටින්ම පාරෙ තියන චූටි කොළ කෑල්ල පවා උන් වැකුම් කරල අයින් කරනවා.ඒක දකින කොට මට මතක් වෙනවා ලස්සනට මල් වවපු,තණකොල අල්ලපු වටපිටාවක් මැද තියන පණුවො ගහපු අසූචි වලක්.


අද වැඩ ඇරිලා එනකොට පාර්ලිමේන්තුව අසල අපේ ගම පරිශ්‍රය දිහා බලාගෙන පොරක් චූ පාරක් අල්ලනව දැක්කා පාර අයිනෙ ඉදගෙන.ඔය වැඩේ තව ටිකක් ඉස්සරහට ඇවිත් පාර්ලිමේන්තුව පැත්ට්ත බලාගෙන කලා නම් ඒ පොර අනිවා ජාතික වීරයෙක් වෙනවා.  




Tuesday, December 1, 2020

සාධු සාධු දම්දිවයින

 අඟුල්මල් මව් සේම දරුදුක

දැනී ආවත් මව් කෙනෙක්

උන්ගෙ හදවත සනසවන්නට

දෙසනු කවුරුද බුදුබණක්...


සුදු ඇඳුම් අඳිනා මිනීමරුනට

දමමු අපි මල් මාලයක්

පොඩි හොරුන් හට වෙඩි තියාලා

සැනසිලා හිනැහෙමු ටිකක්...


ඒත් මදිනම් හිතට සැනසුම

පින්වතුනි ඉනු මැන මදක්

එතෙර කරවමු සුදු කොකුන් රැල

දියවන්නාව ලග ඇත දන්සැලක්...

(2020/11/30 පොහෝ දින මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමකින් රැඳවියෝ 8ක් ඝාතනය වූහ)


Sunday, October 25, 2020

නුවර වැව ලඟ

 මතක පිරි නුවර වැව

රැලි නඟයි පෙර සේම

නුඹ කොහේදැයි නොදැන

මඟ බලමි මම තාම...


වැටුනු පොද වැස්ස නුඹ

අවාරෙක ගිම්හාන

තනිව මා සිටිනු දැක

සුසුම් ලයි හන්තාන...


සොඳුර පෙර ලෙසම නම්

මා සමඟ සිටි මතක

වැව රවුම ළඟයි මම

ගොසින් නෑ තව දුරක....

නුඹ

නුඹේ නිල් නෙත් විලේ මගේ රුව මම සොයමි කිමිදි කිමිදී රැයේ සිතේ පාලුව මකමි... ඇහි පිල්ලමක් අතර සිහිනයක් ගෙන තබමි සුවෙන් නිදනුව සොඳුර හාදු වැස්ස...